Sunday, July 7, 2019

සිහින සතක් දුටුවෙමි මම .......

















ප්‍රේම්කීර්ති ද අල්විස් මහතාගේ පද රචනයෙන් වික්ටර් රත්නායක ශූරීන්ගේ සුමදුර ගායනයෙන් සහ  සංගීතයෙන් රසවත් වූ   ගීතයක් ලෙස මෙම ගීතය දැක්විය හැකිය. මෙහිදී මා හට ගීතයේ අරුත ඒ  ආකාරයෙන්ම ඉදිරිපත් කළ නොහැකි වුව ද යම් පමණකින් මෙම ගීතය රස වින්දනය කිරීමට ගත් උත්සාහයකි මේ.


සිහින සතක් දුටුවෙමිවෙමි මම
සත් දවසක් එක විලසට 
එක සිහිනෙක ඔබ දුටුවා 
සිඟන්නියක  සේ......//

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින් ....//
ජීවත් වන්නට කිසිවක් 
ඉල්ලා සිටියා 

කිසිවක් දෙන්නට මට නැත 
තිබුනේ පිරිසිදු හදවත.....//
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි

එදා මගේ හද අරගත් 
අද ඔබ මට වැඩි පොහොසත්..//
ඒ හින්දා මටත් එලෙස 
පිහිට වනු මැනේ...//


මෙලොව ජීවත්වන සියලු දෙනාට සැබෑ ආදරයක් යනු  සිහිනයකි. ඔවුන්වුන්ගේ ප්‍රාර්ථනාවකි. මිනිසුන් සිහිනෙන් පවා නිරන්තර සොයන්නේ ආදරයයි.  මෙහිදී රචකයාගේ කතානායකයා ඒ ආකාරයේ තමන්ගේ ජීවිතයට ඒ ආදරය අපේක්ෂාවෙන් සිටින තරුණයෙකි. මෙම   කාලය තුළ කිසිකලෙක ආදරයක් නොලද හෝ නැතිනම් මුලු ජීවිතයම ආදරය සේ සිතා සිටි තවත් තරුණියක සියලු ප්‍රාර්ථනා අහිමි වූ කලෙක  කතානායක තරුණයා ඉදිරියට ඔහුගේ ආදරය අපේක්ෂාවෙන් පැමිණියේ තමාට ජීවත්ව වන්නට යමක් නැතිනම් යම් බලාපොරොත්තුවක් ඉල්ලමිනි. කොටින්ම ඇය ඉල්ලන්නේ ඇයගේ ජීවිතයයි .

ඇය  ඉල්ලන්නේ ජීවිතය පවත්වාගෙන යන්නට යමකි. එනම් එය ඉතා වටිනා දෙයක් විය යුතුය. ඊට වඩා අන් කිසිවක් නොවන බව අපට පසක් වන්නේ ඕනෑම  ජීවියෙකුට ඇති වටිනාම දේ නම් තම ජීවිතය නිසාය.  ඇය ඔහුගෙන් අයදින්නේ එය රැකගන්නට  යමකි.  මෙම අවස්ථාව තුළදී තරුණයාට මෙම තරුණියව පෙනෙන්නේ ජීවත් වන්නට යමක් ඉල්ලා සිටින සිඟන්නියක ලෙසිනි.

කතා නායකයා ද එතරම් වත්පොහොසත්කම්කින් යුතු අයෙකු නොවන බව "ඔබ මගෙ පැල් පතට" පැමිණ යන පාඨයෙන් අපට පෙනීයයි. සිඟන්නියට දීමට ඔහුට ඇත්තේ කුමක්ද  තරුණයා අසරණ වන අයුරු රචකයා දක්වයි. නමුත් මෙම තරුණයා සතුව අන් කිසි දෙයකට සම කළ නොහැකි  නිර්මල වූත් කිළිටි නොවූ හදවතක් ඇති බව පැවසෙන අතර තරුණයා ගේ උදාරත්වය හුවාදැක්වීම රචකයාට මෙහිදී අවස්ථාව උදාවනු ඇත. නමුත්  ඔහු තුළ තිබූ ඒ එකම වටින දේ ඉතසිතින් සිඟන්නියට ප්‍රදානය කිරීමට තරුණයා මැලි නොවනු ඇත. ඔහුට ඇති එක්ම දෙය එය වන අතර සිඟන්නියට අවශ්‍ය එකම දෙය ද එය වේ. 

තරුණයාගේ ආදරය  ඇයට හිමි වීමත් සමඟ "සිඟන්නිය" යන නාම මාත්‍රය පවා ඇයට නැතිවන වන තරමට ඇය ආදරයෙන් පොහොසත් වී ඇත. නමුත් එදා ඔහුගේ පිවිතුරු හදවතේ  හිමි හිමිකාරිය වූ ඇය ඔහුටත් වඩා අද හදවතින් පොහොසත් ව ඇත. තරුණයා අද ඇයගේ හදවත ඉදිරියේ දුගීව සිටිනු ඇත. අතීත කතාව නැවත සිහි කරමින් කථකයා  පවසන්නේ තමාට ප්‍රති උපකාර කරන ලෙසයි .

                                                                                               ප්‍රසාදිනී කෞෂල්‍යා වල්පොල

No comments:

Post a Comment

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...